Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

මෑත ඉතිහාසයේ අසාර්ථකම උද්ඝෝෂණය ජනබලය

Politics

ජනපති හා අගමැති එළවා දමා ආණ්ඩුව පෙරළීමේ අරමුණින් ජනතාව මුළාකර ඔවුන්ව කොළඹට ගෙන්වා පසුගියදා පොහොට්ටුව සිදු කළ උද්ඝෝෂණය මෑත ඉතිහාසයේ රටේ සිදුකළ අසාර්ථකම උද්ඝෝෂණය බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පොහොට්ටුවේ නායකයින් මෙම උද්ඝෝෂණය සැළසුම් කළේ තරු පහේ හෝටල්වල සිට බවත්, ඔවුන් එසේ කළේ රටේ ජනතාවට උදා ගම්මාන ඉදිකිරීම, යොවුන් පරපුරට රැකියා ලබා දීම වැනි ජනතා ගැටළුවලට විසඳුම් ලබා දීමට නොව, බලයේ සිටියත් විපක්ෂයේ සිටියත් තම පවුලේ බලය තහවුරු කර ගැනීමේ අරමුණින් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගියදා කොළඹ පැවති උද්ඝෝෂණය මාරාන්තික උපවාසයක් ලෙස පරිවර්තනය කරන බවට අට්ටාල ඉදිකරමින් අඬබෙර ගැසුවත් එය විමල් වීරවංශගේ තවත් පුස් උද්ඝෝෂණයක් බවට ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් පැය දෙකකට සීමා වූ උපවාසය තරු පහේ හෝටලයෙන් අවසන් කළ බව කී අමාතයවරයා වංචාව, මුසාව, මුළාවට රැවටෙමින් එක පවුලක් වෙනුවෙන් මොවුන් කරන අරගලය හේතුවෙන් මෙරට ලක්ෂ 210 ක් වූ ජනතාව අනාථ වන බවත්, යහපාලන රජය බොරුවෙන්, වංචාවෙන්, මුළාවෙන් තොරව ජනතාවට දැනෙන පිරිසිදු සංවර්ධනයක් රටතුළ ක්‍රියාත්මක කරමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිවූ “වීමන්කල්ලු ග්‍රාමම්” සහ “සිවා නගර්” යන උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (07) දින සහභාගී වෙමිණි.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වන 116 සහ 117 වන ආදර්ශ ගම්මාන මේවා වේ.
නිවාස 24 කින් සමන්විත මෙම ගම්මාන දෙක අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 215 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ. ‍

මෙම ගම්මාන ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 24 දෙනාට නිවාස හිමිකම් පත්‍ර සහ රුපියල් ලක්ෂ 79 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 24 ක හිමිකම ලබාදීම, ප්‍රතිලාභීන් 152 කට රුපියල් ලක්ෂ 760 ක වටිනාකමකින් යුතු නිවාස ආධාර, අඩු ආදායම්ලාභී පවුල් 134 කට රුපියල් ලක්ෂ 184 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 261 කට රුපියල් ලක්ෂ 130 ක් වටිනා නිවාස ණය හා ආධාර, ප්‍රතිලාභීන් 6 කට රුපියල් ලක්ෂ 12 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 100 දෙනෙකුට රුපියල් ලක්ෂ 50 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල, ප්‍රතිලාභීන් 18 කට රුපියල් ලක්ෂ 18 ක ස්වයං රැකියා ණය, පවුල් 22 කට ඉඩම් ඔප්පු සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 213 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් විසින් 1982 වසරේ වවුනියාවේදී ජනතා අයිතියට පත්කළ ‘සිවනගර්’ උදාගම්මානයේ සමරු ඵලකය නිරීක්ෂණය කිරීමටද අමාත්‍යවරයා මෙහිදී එක් විය.


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය සති දෙකකින්
ඉදිරි දෙසතිය තුළ පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය ...