free page hit counter
LATEST

රටම කතා කළ තෙබුවන පොලිස් සැරයන් කොටි කටින් නිදහස් වූ හැටි

Gossip 2438

රටේම කථාබහට ලක්වූ තෙබුවන පොලිස් සැරයන්ගේ රාජකාරි ජීවිතයේ එක් අඳුරු පැතිකඩක් පිළිබඳ ඔහුගේ පියාණන් වන නෙල්සන් ගුණවර්ධනගේ මතකය ඇසුරින් සකසන ලද ලිපියක් ඉකුත් සතියේ දිවයින ඉරිදා සංග‍්‍රහයෙහි පළවිය.

තම පුතණුවන් වන සනත් ගුණවර්ධන වසර හතරකට ආසන්න කාලයක් කොටි ත‍්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවේ පසුවීමත් ඉන් අනතුරුව ඔහු නිදහස ලබා නැවතත් උපන් ගම්බිම් කරා පැමිණීමත් පිළිබඳව එම ලිපිය මගින් හෙළිදරව් වන අතර මෙවර පළවන්නේ කොටි අත්අඩංගුවෙන් නිදහස්ව ඔහු නැවතත් කොළඹට රැගෙන එන අයුරුය.

‘‘ප‍්‍රභාකරන්ගේ නියෝගයෙන් එදා පුතාව නිදහස් කරපු දවස මගේ ජීවිතයෙ ලොකු සතුටක් ලබපු දිනයක්. ඒ වගේම තමයි ඒ සතුට එක්කම වේදනාවකුත් දැනුන දවසක්. ඒකට හේතුව තමයි එදා නිදහස් වෙලා ගෙදර එන්න ලැබෙන්නෙ මගේ දරුවට විතරයි. තවත් පොලිස් නිලධාරීන් තිස්ගාණක් කොටි හිරකාරයන් විදිහට ඒ වෙනකොට ඉන්නව. කොහොම හරි පුතාව නිදහස් කළා කියල ආරංචිය ලැබීමත් සමඟම ඒ අයගේ ඥාතීන් තරමක් කලබල කරන්න ගත්ත. මොකද ඒ අයත් කොටි පාලන ප‍්‍රදේශයට ගියේ තමන්ගේ කෙනාව කොහොමහරි නිදහස් කරගෙන එන්න හිතාගෙනමනේ.

‘‘ ඒ වේලාවේ තමයි එතන ආරක්‍ෂාවට හිටිය කොටි සෙබළ සෙබළියෝ කිව්වෙ කවුරුවත් කලබල කරන්න එපා.. මේක කොටි නායක ප‍්‍රභාකරන්ගෙ ඕඩරයක් කියල. වෙන කරන්න දෙයක් නැති පාර ඒ අය නිහඬ වෙනව….’’

‘‘ඊට පස්සෙ පුතාවයි මාවයි කොළඹ ගේන්න ඉස්සරවෙලා ලොකු කෑම මේසයක් සූදානම් කරනව. මේව සිද්ධ වෙන්නෙ යාපනය සුභාෂ් හෝටලය ඇතුලෙ. කොටි සාමාජිකයො ඇවිත් හැමෝටම ආරාධනා කළා කෑමට එන්න කියල. ඒ වෙද්දී උතුරට ගිහින් හිටිය අපි අසූහතර දෙනාගෙන් වැඩිපිරිසක් ආපහු ගම්බිම් බලා පිටත්ව ගිහින් හිටියෙ.

එහේ නතර වෙලා හිටියෙ අපෙන් ගිය අයගෙන් ටික දෙනයි. ඉතින් කොටි සංවිධානයේ ආරාධනයට අනුව අපි කට්ටිය ඒ භෝජන සංග‍්‍රහයට සහභාගි වෙනවා. එදා ඉස්තරම් ආහාර පාන ආදියෙන් ඒ කෑම මේසය පිරිල තිබුණ. එදත් ඇන්ටන් බාලසිංහම් ඇතුළු ප‍්‍රාදේශීය කොටි නායකයන්, රතු කුරුස සංවිධානයේ නියෝජිතයන් ඒ අවස්ථාවට සහභාගී වෙනව. ඒ වෙලාවේ කොටි කියල නෑ බොහොම සුහදශීලීව ඒ අය අපිත් එක්ක කථාබහ කරනව….’’

එදින එවකට පොලිස් කොස්තාපල්වරයකු වූ සනත් කොටි අත්අඩංගුවෙන් නිදහස් වන තීරණාත්මක දිනය විය. වසර හතරකට ආසන්න කාලයක් අනේකවිධ දුක් ගැහැට විඳි සනත්ව ඉන් නිදහස් කොට කොළඹ රැගෙන ඒම පිණිස රජයත්, කොටි සංවිධානයත් ලහිලහියේ කටයුතු කළ ආකාරය පිළිබඳව සනත්ගේ තාත්තා වන නෙල්සන් ගුණවර්ධන විසින් විස්තර කරන ලද්දේ පහත සඳහන් ආකාරයටය.

‘‘එදා යාපනයේ සුභාෂ් හෝටලය ඉදිරිපිට කොටි සංවිධානයට අයත් බස් දෙකයි රතු කුරුසෙ වාහන දෙකකුයි තවත් වාහන කීපයකුයි නතර කරල තිබුණ. එතන තිබුණ එක වෑන් එකකට මටයි පුතාටයි නගින්න කිව්ව. ඒ වාහනේටම අපිත් එක්ක මෙහෙන් ගිය තවත් පොලිස් නිලධාරියෙක්ගෙ ඥාතියෙකුත් ගොඩවුණා. ඊට පස්සෙ තමයි ගමන පිටත්වුණේ. මුලින්ම කොටි සාමාජිකයන් රැගත් බස් රථය ඊළඟට රතු කුරුස නිලධාරීන්ගේ වාහනයක් ඊට පිටිපස්සෙන් අපි ගමන් කරපු වෑන් රථය ආපහු තවත් කොටි සාමාජිකයන් රැගත් බස් රථයක්. ඒ පිළිවෙලට තමයි පේදුරුතුඩුවට ළඟාවෙනකම් වාහන ටික ආවෙ. ඒ කාලෙ හැටියට මේ සිදුවීම තරමක් වෙනස් සිද්ධියක්. ඒ හින්ද වෙන්න ඇති අපි ගමන්ගත් මාර්ගය දෙපසට රැස්වූ ද්‍රවිඩ ජනතාව මේ වාහන පෙරහැර දෙස පුදුමයෙන් වගේ බලාගෙන හිටියෙ. මට හොඳට මතකයි විශාල පිරිසක් අපි දිහා බලාගෙන හිටිය කියල. පේදුරුතුඩුවෙ ඉඳල ති‍්‍රකුණාමලය දක්වා අපිව ගේන්නෙ නාවික හමුදාවෙ ආරක්‍ෂාව මැද්දෙ නැවකින්. ති‍්‍රකුණාමලයට ගොඩබැස්ස විතරයි එතන ගිලන් රථයක් සූදානම් කරල තිබුණ. එතනින් පුතාවයි මාවයි ඒකට ගත්ත.’’

‘‘ඔය වෙද්දි ජනමාධ්‍ය මගින් රට පුරා ප‍්‍රචාරය කරල තිබුණ කොටි අත්අඩංගුවේ වසර කීපයක් හිටිය පොලිස් නිලධාරියෙක්ව එදා නිදහස් කරගෙන කොළඹ ගේනව කියල. ඒ ආරංචිය හින්ද වෙන්න ඇති අපි ති‍්‍රකුණාමලයෙන් පිටවෙලා කොළඹ එනකල්ම අර උතුරේ මිනිස්සු මග දෙපස රැස්වෙලා හිටිය වගේම විශාල ජනතාවක් මග දෙපස රැස්වෙලා හිටිය. ඒ බව එදා අපිත් එක්ක ති‍්‍රකුණාමලේ ඉඳල කොළඹ ආව ආරක්‍ෂක අංශ නිලධාරීන් පවා දැක්ක සිද්ධියක්. ඇත්තටම එදා මිනිස්සුන්ගෙ ලොකු පිළිගැනීමක් පුතාට ලැබෙනව..’’

‘‘කොහොම හරි එදා ති‍්‍රකුණාමලෙන් පිටත් වෙච්ච ගිලන් රථය පැය හතරක් පහක් යද්දි නාරාහේන්පිට පොලිස් රෝහලට ළඟාවෙනව. අපි එතනට එද්දී අපේ ඥාතීන්, අසල්වාසීන් ඇතුළු පුතාගෙ යාළු මිත‍්‍රයෝ ලොකු ලේලන්ඞ් බස් තුනක් පිරෙන්නම සෙනඟක් එතැන රැස්වෙලා හිටිය. මොකද ඒ කාලෙ හැටියට පුතාට නිදහස ලැබීම කියන්නෙ ඒ තරමටම පුදුමය හා සතුට ගෙන දුන් කාරණාවක් වුණා…’’

තම පුතණුවන් කලක් තිස්සේ කොටි අත්අඩංගුවේ පසුවීමත් ඉන් නිදහස ලබා නැවත ගම්බිම් කරා පැමිණීමත් පිළිබඳව දීර්ඝ විස්තරයක් කළ නෙල්සන් ගුණවර්ධන තම මතක ආවර්ජනය නිමාවට පත්කරන ලද්දේ තම පුතනුවන් පොලිස් රෝහල කරා රැගෙන ඒම දක්වා සිදුවූ සිදුවීම් පෙළ එකිනෙක අපත් සමඟ විස්තර කිරීමෙන් අනතුරුවය.

එතැන් සිට දින ගණනාවක් පුරා පොලිස් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන සනත් ගුණවර්ධන ඉන් අනතුරුව නැවතත් පොලිස් සේවයට එක්වන්නේය. ඒ අනුව පළමුව තෙබුවන පොලිස් ස්ථානයට අනුයුක්තව නැවත රාජකාරී ජීවිතය අරඹන ඔහු නැවත වරක් 2007 වර්ෂයේදී පමණ උතුරු ප‍්‍රදේශයේ පිහිටි ඩෙල්ෆ් දූපතට රාජකාරිය පිණිස පිටත්ව ගොස් ඇත. එහි වසර එකහමාරක් පමණ සේවය කරන ඔහු නැවතත් බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන කීපයක රාජකාරී කර ඇති අතර ඉකුත් දිනක තෙබුවන පොලිස් ස්ථානය මුල්කර ගනිමින් විරෝධතාවයක නිරත වන්නේ පොලිස් සේවය තුළ තමන්ට දිගින් දිගටම විවිධ පීඩනයන් සහ අසාධාරණයන් සිදුවූ බව පවසමින්ය.

මේ වන විට තෙබුවන පොලිස් සැරයන් ඇපමත නිදහස්ව පසුවන අතර ඉකුත් 16 දා ජනාධිපතිවරයාගේ ඇරයුමින් සැරයන් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමේ වරම් හිමිවිය. එහිදී ජනාධිපතිවරයා විසින් ඔහුට රුපියල් ලක්‍ෂ 10 ක මුදල් ප‍්‍රදානයක් ඇතුළු ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනය පිණිස පහසුකම් රැසක්ද සපයා දීම සිදුවිය.

එම සිදුවීමෙන් අනතුරුව ඉකුත් 17 දා පොලිස්පතිවරයා විසින් පොලිස් සැරයන් සනත් ගුණවර්ධනට නැවත සේවයේ පිහිටුවන ලද අතර ඒ හරහා පොලිස් සැරයන්වරයාට නැවතත් තෙබුවන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කිරීමේ වරම් හිමිවී ඇත.

ඉකුත් 03 දා සිදුවූ මෙම සිදුවීම රටේ බොහෝ දෙනෙකුගේ කථා බහට ලක්විය. සියලූ මාධ්‍ය මගින් ඒ පිළිබඳ දැවැන්ත ප‍්‍රචාරයක්ද සිදුකළහ. නීතිය, යුක්තිය පතන ශිෂ්ට සම්පන්න පුරවැසියන් ඇතුළු රටේ බොහෝ දෙනෙක් එම සිදුවීමේදී පොලිස් සැරයන්වරයාගේ පැත්තේ හිටගත් අතර ඔවුන් එක හඬින් ප‍්‍රකාශ කර සිටියේ පොලිස් සැරයන්වරයා නිවැරදි බවත් වරද පවතින්නේ ඉහළ පොලිස් නිලධාරීන් කීපදෙනෙකු අත බවත්ය. එකමදේ එකම ආකාරයෙන් දෙවරක් සිදුවන්නේ නැත. එබැවින් පොලිස් සැරයන් සනත් ගුණවර්ධන සිදුවීම කාටකාටත් බොහෝ දේ උගන්වන ලද විරෝධතාවයක් පමණක් ලෙස ගෙන ඉන් යමක් අවබෝධ කර ගැනීම මිස එවැනි දේ නැවත නැවතත් සිදුනොවනු දැකීම පිණිස කවුරු කවුරුත් තම තමන්ගේ රාජකාරියේ තරම මෙන්ම එහි වගකීම පිළිබඳවද අවබෝධයෙන් කටයුතු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ මතු යහපත පිණිස ඉවහල්වනු ඇත.

– රුවන් ජයවර්ධන


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
සුජීවට ‘ඉතාලි බූරුවාගෙන්’ මරණ තර්ජන?
තමන්ට මරණීය තර්ජන ඇති බව ජාත්‍යන්තර වෙළඳ සහ ක‍්‍රමෝපාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ...