free page hit counter

ඇත්තටම ඔක්තෝම්බර් 26 මොකද උනේ?

Featured Politics 1173

එදින සවස 06 වන විට නිවසට පැමිණෙන ලෙස සිරිසේන ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයින්ට කියා සිටියා විනා තමන් අද රාත්‍රියේ සිදුකරන බරපතළ දේශපාලනික වෙනස පිලිබඳව ඔහු පවුලේ අයටවත් කල් තියා ප්‍රකාශ කලේ නැත.

2015 වසරේ සිට නැවත රාජපක්ෂලාට මේ රටේ ආණ්ඩු කිරීමට ඉඩ නොදෙන බව පුන පුනා පැවසූ ජනපති සිරිසේන එක්වරම රාජපක්ෂව අගමැති පුටුවේ ඉන්දවන්නේ ඇයි? 

සිරිසේන ජනාධිපතිවරයා විසින් සිය ධූරයේ දෙවන කාල සීමාව සදහා තරඟ වැදීමට නම් ඔහුට ඒ සදහා යම් ප්‍රබල ජනපදනමක් අවශය විය. එසේම එය එසේ සිදුවීමට නම් 2019 ජනවාරි මාසය වන විට ජනාධිපතිවරණයක් කැදවිය යුතුව ඇත. සිය නිදහස් පක්ෂ ජන්ද පදනමෙන් යලි ජනාධිපති වීමට ඔහුට නොහැකිවනවා සේම යලි එජාප ප්‍රමුඛ සංධානයක පොදු අපේක්ෂකයා වීමද සිදුවිය නොහැක්කක් බව ඔහුට වැටහී ගිය පසු ඔහු මේ මහා දේශපාලන කුමන්ත්‍රණය දියත්කල බව අද වන විට පැහැදිලිය.

මහින්ද රාජපක්ෂ අගමැතිව සිටියදී ජනාධිපතිවරණයක් කැඳවූයේ නම් තමන්ව අගමැති කල ජනපති සිරිසේනගෙන් තොර විකල්පයකට යාමට රාජපක්ෂවරුන්ට නොහැකි වන අතර සිරිසේනව ජනාධිපති කිරීම සදහා ක්‍රියාකිරීමට ඔවුන්ට සිදු වේ. සිරිසේන ජනාධිපතිවරයා සිටියදී බැසිල්, ගෝඨා, නාමල් හෝ චමල් යන විකල්ප කිසිවක් වලංගු වන්නේ නැත. තවද රාජපක්ෂ කෙනෙකු ජනාධිපති වීමේ සිහිනය මේ සමගම සිහිනයක්ම වනු ඇත.

මේ මොහොත වනවිට කරළියට පැමිණ තිබෙන නිදහස් පක්ෂ – පොහොට්ටු සංධානය හරහා සිදු කරන්නට උත්සාහ කරන්නේද ජනපති සිරිසේනගේ මෙම දේශපාලන ව්‍යාපෘතියමය.

තවත් වසර 1 1/2 ඉවසුවේ නම් ඉතා ඉහළ ප්‍රතිශතයකින් පැහැදිලි ජනවරමක් දිනා ගැනීමට රාජපක්ෂ කඳවුරේ පොහොට්ටුවට හැකියාව තිබියදී, සිරිසේන සමඟ ආණ්ඩු කිරීමට ගොස් බරපතළ දේශපාලන පඹගාලක පැටලුණි. මෙතක්කල් තනි නායකත්වයකින් යුතුව ඉදිරියට ගිය පොහොට්ටු පක්ෂය ඇතුළු රාජපක්ෂ නඩයට තමන්ගේ දේශපාලන ඉතිහාසයේ රාජපක්ෂලා හොරුන්, මිනීමරුවන්, දුෂතයින් බවට පත්කල තමන්ගේ ප්‍රබලතම දේශපාලන සතුරා වන ජනපති සිරිසේනව සිය ප්‍රමුඛ නායකයා ලෙස පෙන්වා දෙමින් ඉදිරියට යාමට සිදුව තිබේ.

ඔක්තෝම්බර් 26 සිදුවූ පෙරළිය සිරිසේන ජනාධිපතිවරයාගේ තනි දේශපාලන බලලෝභීත්වය උදෙසා ක්‍රියාත්මක කල බරපතළ ගණයේ දේශපාලනික කුමන්ත්‍රණයක් වන අතර රාජපක්ෂලා ඉතා අසරණව එහි පාර්ශවකරුවන් බවට අද වනවිට පත්ව ඇත.

රාජපක්ෂලාට එරෙහිව පැවති නඩු වල තීන්දු රැසක් 2019 වර්ෂය තුල ලැබීමට නියමිත අතර එම තීන්දු වලින් ඔවුන් සිරගත කරන බවට වූ තර්ජනයේ ප්‍රතිපලයක් ලෙස සිය දිගුකාලීන දේශපාලන සැලසුම් සියල්ල හකුලාගෙන සිරිසේනගේ ඔඩොක්කු කුක්කෙක් බවට පත්වීමට රාජපක්ෂ මහතාට සිදුවූ අතර දැන් දැන් ජනපති සිරිසේන විසින් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට අයිතිවාසිකම් කීම තුලින් සිරිසේනගේ කපටි දේශපාලනයේ පරිමාව ඔබට සිතාගත හැකි වනු ඇත.

පසුගිය සමය පුරාම ජනපති සිරිසේන විසින් කල සෑම කතාවක්ම කලේ පොහොට්ටු පාක්ෂිකයින් ආමන්ත්‍රණය කරමින්ය. ඒ කතා පිළිබඳව මනා විශ්ලේෂණයක් කල ඕනෑම අයෙකුට එය මනාව වැටහෙණු ඇත. දැන් ඔහුගේ සියලු දේශපාලන ඇම යෙදීම් කරන්නේ පොහොට්ටු පාක්ෂිකයින් වන මහින්ද ආගමක් කරගත් අනුගාමිකයන් අල්ලා ගැනීමටය.

එතරම්ම උගත්කමක් හෝ විචාර බුද්ධියක් නැති පොහොට්ටු පාක්ෂිකයින්ට දැන් දැන් මහින්ද රාජපක්ෂට වඩා සිරිසේන පොරක් වෙමින් සිටී.

දේශපාලනයේ දෙවර්ගයක මිනිසුන් සිටියි. ඒ දේශපාලන බුද්ධිමතුන් සහ දේශපාලන කපටියන්ය.
ජනපති සිරිසේන යනු බුද්ධිය කෙසේවෙතත් ශූර දේශපාලන කපටියෙකි. ඒ කපටියා පොහොට්ටුව අල්ලාගත් ආකාරය මහා දේශපාලන මොළකරුවන්, වැඩකරුවන් යැයි කියූ මහින්ද, බැසිල් හෝ ගෝඨාභය යන අයටවත් සිතා ගැනීමටවත් නොහැකිය.

සටහන – ජනිත හර්ෂණ මෙන්ඩිස්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
බස් ගාස්තු සංශෝධනය මුළුමනින්ම මගීන් රැවටීමක් : සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය.
බස් ගාස්තු සංශෝධනය මුළුමනින්ම මගීන් රැවටීමක් : සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය. ඉන්ධන මිල කිහිප ...