free page hit counter

මන්ත්‍රී ධුර 31ක් ගැස්සී යයි ද?

Featured Politics 1145

මේ දේ හරියටම තෝරාබේරා ගත යුතුය. සිරිසේන – රාජපක්ෂ දෙදෙනා ගේමක් ගැසුවේය. නිකම්ම නිකම් බූරු පොළකදී ගහන ගේමක් නොවේය. මේ රටේ මිනිස් ජීවිත දහස් ගණනක් හෝ දසදහස් ගණනක් බිල්ලට දී ගැසූ ගේමක්ය. අහම්බෙන් එක් ජීවිතයක් බිලි වීම හැරුණුකොට ජීවිත බිලි නොදී ගේම උන් කරාම ආපසු හැරවීමට හැකිවීම කෙතරම් අපූරුද! බලලෝභී උන්මත්තකයන්ට එල්ල කළ හැකි මේ තරම් කදිම පාඩමක් තවත් තිබිය නොහැකිය. එක් මොහොතකදී ගර්හිත මිනිසුන් ගැන කේන්ති ඇති නොවුණාද නොවේ.

ඒ මන්දයත්, මෙතරම් එළිපිට සිදු වූ බරපතළ දේශපාලන කුමන්ත්‍රණය පවා තේරුම්ගත නොහැකි මිනිසුන් සිටින රටක මාධ්‍ය නාළිකාද, පුවත්පත්ද මේ මුළාවම සිදු කරන විට ජනතාවගේ තත්ත්වය ගැන පුදුම විය යුතු නැත. නමුත්, ජනතා ව්‍යාපාර හරියටම අනුපිළිවෙළට සටන් ක්‍රියාමාර්ග පෙළගැස්වූ විට මිනිස් ජීවිත බිලි නොදී උන්මත්තක බල ලෝභය පරාද කළ හැකිය යන්න ඉතිහාසයට එකතු කර අවසන්ය.

ඔක්තෝබර් 26 වෙනිදා සිරිසේන – රාජපක්ෂ එක්ව දියත් කළේ දේශපාලන කුමන්ත්‍රණයක් බව ජනතා විමුක්ති පෙරමුණ ඉතා නිවැරදිව සමාජගත කළේය. ඒ අනුව දියත් කළ සටන් ක්‍රියාමාර්ග අනුපිළිවෙළ ගැන කුහක නොවන කවුරුත් කතා කිරීමට පටන්ගෙනය. විධායක ජනාධිපති ඒකාධිපති බල උමතුව මහජන හඬට, ව්‍යවස්ථාදායකයේ ක්‍රියාමාර්ගවලට, අධිකරණයේ නියෝගවලට අවනත නොවන්නේ නම්, ජනතාව මහපාරට බස්වා බල වියරුව පරාද කරන බවට ජවිපෙ අනතුරු ඇඟවීය. ඒ වෙනුවෙන් මහ පොළොවේ ජනමතයක් ඉතා හොඳින් ගොඩනඟා තහවුරු කර තිබිණි.

මේ තරම් විනයක් සහිත සටනක්! මේ තරම් ප්‍රහාරයක් සහිත සටනක් !! මහජන සතුරන් මේ තරම් බියපත් කළ සටනක්!!! ඔව්.. මේ රටේ පමණක් නොව මෑත කාලයේ ලෝකයේ කවර හෝ රටක තිබේ ද යන්න සැකසහිතය. දශක හතරක විධායක ජනපති උමතු ඉතිහාසයේ පළමු වරට එම බල උමතුව තීරණාත්මකව පරාජය කර තිබේ. ගලිවර්ලා බව සිතාගෙන සිටි සිරිසේන – රාජපක්ෂ ලිලිපුට්ටන්වත් නොව නිකම්ම නිකම් ගැඩවිලුන් බවට පත් කර අවසන්ය. ගෙරි හම් කඩක් එළා ගැනීමේ න්‍යායෙන් යම් තැනකට පය තබා මුළු රාජ්‍යයක් කොල්ලකෑමට කපටිකමක් තිබූ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා දැන් අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් දෙකම නැති අන්ත අසරණ අනාථයන් බවට පත් කිරීමට තරම් මේ මහජන බලය විනයගරුක හා බලසම්පන්න සටනක් දියත් කර තිබුණේය.

මේ දේශපාලනය හරියටම තේරුම් ගත යුතුව තිබේ. සත්‍ය වශයෙන්ම ලේ, කඳුළු, ජීවිත කැපකොට ලබා ගත යුතු ජයග්‍රහණයක් මෙලෙස ජය ගැනීම ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු දෙයක්මය. හිතූ හිතූ හැටියට කෙලෙසා දැමූ නීතියේ යුවතිය 2015 ජනවරමින් කිසියම් හුස්මක් ගත් බව සැබෑය. 19 වන සංශෝධනය සිදු කොට කොමිෂන් සභා පිහිටුවිණි. පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් මතු වූ ජන සටන හමුවේ සත්‍යය වඩා පැහැදිලි වී තිබිණි. අධිකරණයට නිවැරදි තීන්දු ගැනීම පහසු කරවන ලද්දේ මේ වටාපිටාවයි.

මේ ජයග්‍රහණය හමුවේ දැන් ‘අධිකරණය’ යන වචනයට බල උන්මත්තකයන් අතිශය බියකින් පසු වේ. ඊළඟ කිනම් මොහොතක හෝ එය යළිත් බියගුලු තත්ත්වයකට ඇද දැමීමට පාලකයන් උපරිමයෙන් උත්සාහ දරනු ඇත. ඒ හමුවේ යළි අලුත් සටන්ද ඇවිළී යනු ඇත. මේ මොහොතේදී බලලෝභී කුමන්ත්‍රණය තිබෙන්නේ සිරිසේන – රාජපක්ෂ කේන්ද්‍රයේ නොවේ. පරිධියේය. රාජපක්ෂ දැන් අගමැති පුටුවෙන් බැස ගොස් විපක්ෂ නායක පුටුවේ ඇලී සිටීමට ප්‍රයත්න දරන්නේය. එය කෙතරම් කාලයකට අල්ලාගෙන සිටීමට හැකි වේද යන්න වෙනම දෙයක්ය. මහින්ද රාජපක්ෂ සේම ඒ සාටකයේ එල්ලී ගත් මන්ත්‍රීන් කණ්ඩායමක්ද දැන් සිටින්නේ සියොලඟ ලේ බිඳකුදු නැතිව සිඳී ගිය මට්ටමේය. මහින්ද ඇතුළු මන්ත්‍රීන් 31 දෙනෙකුගේ මන්ත්‍රී පට්ටම් කොයි මොහොතේ හෝ අහිමි වී යාමේ අවදානමකය.

එය සිදු වූයේ පසුගිය නොවැම්බර් 11 වැනිදා සිදු කළ දෙයකින්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වශයෙන් සිට බුලත් කොළය ලකුණින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දය ඉල්ල 31 දෙනෙක්ය. මහින්ද කල්ලියේ කෙරුමන් හැටියට උඩඟු, බලයක් පතුරුවාගෙන සිටින අයය. ඉතා තක්කඩි ආකාරයෙන් ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිරිසේන – රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණය කළද, මේ දෙදෙනා අතර බලපොරය තිබිණි. එය කෙතරම් පාදඩ බලපොරයක්ද යන්න හෙළි වූයේ නොවැම්බර් 09 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුවය. ඉන් දින දෙකක්වත් ඉක්ම යාමට පෙර මහින්ද රාජපක්ෂ පෙරමුණේ තබාගෙන කල්ලියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 31 දෙනෙකු පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තෝය.

නිකම්ම නිකම් මන්ත්‍රී කට්ටක් නොව. මහින්ද රාජපක්ෂ අගමැති ලෙසද, ගෝලයන් බොහෝ දෙනෙකු ඇමතිවරු ලෙසද ගොස් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තෝය. ඉන්පසුව සිරිසේනට මඳි නොකියන්න කඳ හරහා මරු පහරක් දීමෙන් පොහොට්ටුවට එක් විය. මෙය කෙතරම් උඩඟු ලෙස කළේද යන්න 11 වැනිදා රූපවාහිනී නාළිකාවලින් ප්‍රවෘත්තිවලදී දැක්වීය. එදා මහා බලයකින් පිම්බී සිටි අය කෙතරම් පරඬැල් පත්ද යන්න දැන් ප්‍රකට කෙරෙමින් තිබේ. මේ ගමනට මූලික පදනම වූයේ ‘පාර්ලිමේන්තුව විසුරුවා හැරියා’ යන්නය. එනිසා උත්කර්ෂයෙන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනිණි. රූකඩ නායකයා වශයෙන් සිටි පොහොට්ටුවේ ජී. ඇල්. පීරිස්, මහින්දගේ අතින් සාමාජිකත්වය ගන්නා තත්ත්වයට මාධ්‍ය සංදර්ශන විකාරරූපී විය. නමුත්, සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මඟින් අභියෝගයට ලක් කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම් සලකා බලා අතුරු තහනම් නියෝගයකින් එම ගැසට් පත්‍රය අත්හිටුවා මැතිවරණ ක්‍රියාවලියද අත්හිටුවීය. ඉන්පසු විධායක ජනාධිපති අනුගමනය කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක්‍රියාමාර්ගය ව්‍යවස්ථා විරෝධී බවට දෙසැම්බර් 13 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුව දුන්නේ විධායක ජනාධිපති ධුරයේ දශක හතරක සර්වබලධාරීත්වය මහ පොළොවට ඇද දමමින්ය.

කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසුව දැන් එයට වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ මන්ත්‍රී ධුර 31ක් අහිමි වීමේ අවදානමකිනි. දැන් සිරිසේනගේ නායකත්වයෙන් තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස කියන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස තාමත් තම සාමාජිකයන් බවය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස සිරිසේන පත් කළ ගෝලයා වන මහින්ද අමරවීර කියන්නේද ඔවුන් තාමත් තමන්ගේ සන්ධානයේ සාමාජිකයන් බවය. මෙතෙක් සිටි අතත්, බුලත් කොළයත් පඩික්කමට දමා පොහොට්ටුව සිඹ ගත් උන් දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිල්වලට රිංගා මන්ත්‍රී කට්ට බේරා ගැනීමට මාන බලති.

නමුත් මේ 31 දෙනාට දැන් සිදු වී තිබෙන්නේ “අබසරණයි!” කීමටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් මන්ත්‍රී ධුර ගැස්සී ගොස් අවසන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13) (අ) අනුව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව මෙසේ දක්වා තිබේ. “යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඔහු එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අවස්ථාවේදී ඔහුගේ නම ඇතුළත් වූයේ යම් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක (මෙහි මින්මතු ‘අදාළ නාම යෝජනා පත්‍රය’ යනුවෙන් සඳහන් කරනු ලබන) නාමයෝජනා පත්‍රයේද ඒ දේශපාලන පක්ෂය හෝ කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටීම ඉල්ලා අස් වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවක ඔහු එසේ සාමාජිකයෙකුව සිටීම නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස් වන්නේය.”

රටේ මූලික නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ සර්වබලධාරී විධායක ජනාධිපති සෙල්ලම් කර පස්ස බිම ඇන ගත් පසු දැන් අන් අය ගැන කවර කතාද! එහි ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ, මන්ත්‍රීවරයෙකු සේ තේරී පත් වන අවස්ථාවේ සිටි දේශපාලන පක්ෂයෙන් හෝ ස්වාධීන කණ්ඩායමෙන් ඉල්ලා අස් වීම හෝ පහ කිරීම හෝ අන් හේතුවක් නිසා මන්ත්‍රී ධුරය අහිමි වන බවය. ඉල්ලා අස් වී නැත. පක්ෂයෙන් පහ කරද නැත. නමුත්, ‘අන් හේතුවක් නිසා’ යන්න මෙතනදී ඉතාම හොඳින් වලංගු වන්නේය. අන් හේතුව නම් බුලත් කොළය හැර ගොස් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තව දුරටත් දක්වා ඇත්තේ, එසේ එම කොන්දේසි තුනෙන් කවරක් හෝ කඩන ලද දින සිට මසක් ඉක්ම යාමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මන්ත්‍රී ධුරය රැක ගැනීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය. එවැනි පෙත්සමක් මාස දෙකක කාලයක් තුළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් සලකා බලා තීන්දුව ලබා දිය යුතුය. මේ 31 දෙනා මන්ත්‍රී ධුර රැකගැනීමේ පෙත්සමක් මාසයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ද නැත. දැන් තත්ත්වය කුමක්ද? හරියටම ගතහොත් මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීන් 31 දෙනා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දරන්නේ නීති විරෝධීවය. නැත්නම් මේ වන විටද මන්ත්‍රී ධුර 31ක් හිස් වී තිබිය යුතුය.

එවිට සිදු කළ යුතු දේද 99 (13) (ආ) වගන්තියේ ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ “ඊළඟ වැඩි මනාප ඡන්ද සංඛ්‍යාවක් ලැබූ අපේක්ෂකයා ඒ හිස් වූ ආයතන සඳහා තෝරා පත් කර ගන්නා ලදැයි ප්‍රකාශයට පත් කළ යුත්තේය” යනුවෙන්ය. මෙම ප්‍රකාශය කළ යුත්තේ අදාළ දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින්ය. මේ 31 දෙනාගේ මන්ත්‍රීකම් රැඳී තිබෙන්නේ සන්ධානයේ හෝ ශ්‍රීලනිපය විසින් පක්ෂය හැර ගිය බව ප්‍රකාශ නොකිරීම නිසාය. මෙන්න මෙතනදී මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අය හට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද, සන්ධානයේද ව්‍යවස්ථා සලකා බැලුවද, මේ මන්ත්‍රී ධුර හිස් වී ඇති බව පැහැදිලි වේ. ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ 22 ii සහ iii වගන්ති මෙයට යටත්ය.

“වෙනත් දේශපාලන පක්ෂයකට බැඳී සිටින සාමාජිකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත නොහැකිය.” මෙහි වචනයෙන් සඳහන් නොවන අනෙක් අර්ථය වන්නේ ශ්‍රීලනිප සාමාජිකයෙකු හටද අනෙක් පක්ෂයක සාමාජිකයෙකු විය නොහැකි බවය. ෂෂ උප වගන්තිය එසේ වන විට එය ඉතාමත් තීව්‍ර කරන්නේ ෂෂෂ වගන්තියෙන්ය. “එක පුද්ගලයෙකුට පක්ෂ ශාඛා දෙකක සාමාජිකත්වය එකවර තබාගත නොහැක්කේය” යනුවෙන්ය. පක්ෂයේ ශාඛා දෙකක බැරි නම් අන් පක්ෂයක සාමාජිකත්වය ගෙන කෙසේවත් ශ්‍රීලනිපයේ සිටිය නොහැකිය. සන්ධාන ව්‍යවස්ථාවෙන්ද මෙය තහවුරු කර ඇත.

කුමන්ත්‍රණයේ කේන්ද්‍රය දැන් තිබෙන්නේ මෛත්‍රී – මහින්ද දෙදෙනාගෙන් බාහිරව බව මුලින්ම කීවේ මේ තත්ත්වයන් සලකා බලාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද, පක්ෂ ව්‍යවස්ථාව අනුව ද මන්ත්‍රීවරුන් 31කගේ තනතුරු ගැස්සී යාමට ඔන්න මෙන්නය. කුමන්ත්‍රණයේ පරාජය නිසා දැන් මන්ත්‍රීන් 31ක්ද, සිරිසේන – රාජපක්ෂ පවුලට අහිමි වීමේ විශාල අනතුරක් පවතී. ප්‍රශ්නය දැන් කේන්ද්‍රයෙන් පරිධියට ගමන් කර තිබෙන බව කියන්නේ මේ නිසාය.

මහින්ද – මෛත්‍රී දැනුත් පොඩ්ඩන් බිලිදී බලය රැක ගැනීමට ඕනෑම ගේමක් ගසන බව නම් ඉර හඳ වාගේ සහතිකය.

ප්‍රියදර්ශන දයාරත්න – ලංකා ඉරිදා සංග්‍රහය


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි අවසානයේදී
මහින්ද රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ...