free page hit counter
LATEST

දිනාගත් නිදහස ආරක්ෂ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පක්ෂ බේද පසෙකලා එකතු වෙමු -මුදල් අමාත්‍ය

Politics 1002

පාස්කු ඉරිදා උදෑසන කතෝලික පල්ලි කිහිපයකටත් ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයකටත් එල්ල කරපු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර රජයේ මුදල් ඇමැතිවරයා ලෙස ඉතාමත්ම පිළිකුල් සහගත ලෙස හෙළා දකින බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා අද සිදුවීම සම්බන්ධයෙන් මෙසේ ද පවසයි.

මෙය තනි පුද්ගලයකුගේ ක්‍රියාවක් නොවන බව ඉතාමත් ම පැහැදිලි යි. ඉතාමත්ම සංවිධානාත්මකව, එකම වෙලාවට තැනින් තැන මෙවැනි බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ඇත්ත වශයෙන් ම 2015 අපි ආරම්භ කරපු ප්‍රජාතන්ත්‍රවාදී ගමන ආපස්සට හැරවීමේ කූඨ ප්‍රයත්නයක් බව ඕනෑම කෙනෙකුට පැහැදිලියි.

අපි 2015 ඉඳල ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය කියන කුලුනු මත මේ රට දියුණු කරල අද ක්‍රම ක්‍රමයෙන් මේ රට සෞභාග්‍ය කරා ගමන් කරනකොට යළි වතාවක් ලෝකයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සලකනකොට ඒ වගේම ආගම් වාදයට ජාතිවාදයට එරෙහිව රජය සාර්ථකව තමන්ගෙ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනකොට මේ සියල්ල ආපසු හැරවීමේ ප්‍රහාරයක් හැටියටයි අපි මේක දකින්නෙ.

විශේෂයෙන් ම ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් ඉලක්ක වීමෙන් ම අද ඉතාමත් ම වේගයෙන් සීග්‍රයෙන් වෙමින් තියෙන සංචාරක ව්‍යාපාරය පිළිබඳ ඊර්ෂයා කරන කණ්ඩායමක් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ක්‍රියාත්මක කළ බව පැහැදිලියි. ඒ වගේම පාස්කු ඉරිදා මෙවැනි දෙයක් ක්‍රිස්තියානි පල්ලි තුළ ක්‍රියාත්ම කිරීම තුළිනුත් මේ රට තුළ යළි වතාවක් ජාතිවාදය, ආගම්වාදය ඇති කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන කොටස් බව පැහැදිලියි. අපි ජනතාවෙන් ඉල්ලන්නෙ ආවේගශීලි නොවී සංසුන්ව කටයුතු කරන්න කියල. මාධ්‍යවලින් මම ඉල්ලන්නෙ වගකීමෙන් කටයුතු කරන්න කියල. මේ වගේ ප්‍රහාරවලින් අහිමි වන ජීවිත ලෝකයට පෙන්නල ඒ අයට අගෞරව නොකරන සම්පදායක් තියෙනවා. පැරීසියෙ වෙන්න පුළුවන් අමෙරිකාවෙ එංගලන්තෙ වෙන්න පුළුවන් ඒ කිසිම රටකට ප්‍රහාරයක් එල්ල වුණ වෙලාවට බීබීසි එකෙන්, සීඑන්එන් එකෙන් ඒ මළ මිනී දිහා බලල සංතෝෂ වෙන්නෙ නෑ. එහෙම සතුටු වෙන්න මළ මිනී පෙන්නන්නෙත් නෑ.

මම මේ රටේ ජනමාධ්‍යයෙන් ඉල්ලනව මේ ශිෂ්ඨ සම්පන්න සම්ප්‍රදාය අනුගමන කරමින් මේ බෝම්බ ප්‍රහාරවලින් මියගිය අහිංසකයන්ගෙන් දේශපාලන වාසි ගැනීමේ ප්‍රයත්නය වහාම නවත්තන්න කියල මම ඉල්ලනවා. මේ මළ මිනී ලෝකයට පෙන්වන මාධ්‍ය කලාව වහාම නවත්වන්න ඕනෙ.

මේවායින් සතුටක් තෘප්තියක් ලබන දේශපාලඥයන් පිරිසක් ඉන්න පුළුවන්. මට ආරංචියි අපේ විපක්ෂ නායකතුමා දැන් මළ මිනී බල බල රූපවාහිනී කැමරා එක්ක යනව කියල. රාජපක්ෂලට කොහොමත් පණ එන්නෙ ලේ සුවඳ ආවමයි කියල අපි දන්නවා. මොකද එදා තිබුණෙ ලේ සුවඳන් ජීවත් වුණ රජයක්. මේ වෙලාවේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැම කෙනෙක්ම සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් හැම ආගමක් ම අදහන අයගෙන් බහුතරයක් මේ ඩ්‍රැකියුලා, වෑන්පයර් මාධ්‍ය කලාවට විරුද්ධයි.

අපි හැම කෙනෙක්ම අත්වැල් බැඳගෙන, අපි දිනාගත් නිදහස ආරක්ෂ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පක්ෂ බේද පසෙකලා එකතු වෙමුයි කියල මම ආරාධනා කරනවා.

මේ බියගුලු ම්ලේච්ඡ ප්‍රහාරයන්ගෙන් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ට, තුවාල ලැබූවන්ට සහ පීඩාවට පත් වූවන්ට මම මාගේ කණගාටුව පළ කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
විශේෂ මාධ්‍ය නිවේදනය-සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සදහා ජාතික මෙහෙයුම් මැදිරියක්
රටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබදව ආරක්‍ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර ...