free page hit counter

ඇසළ මාසෙට දෙන්න දඩමස් කතරගමට ගේන බල්ලො කෝටු මස්

Gossip 1033

මේ බල්ලන් ගැන කතාවක්. සමාන විධියකින් කිව්වොත් සුනඛයන් පිළිබඳ කතාවක්. කතාවක් නම් එය ජීවිතයට බද්ධ විය යුතුයි. මටත් බල්ලෙක් ඉන්නවා. එයා සුනඛ. වයස අවුරුදු 14කට කිට්ටුයි. ඒ කියන්නේ ජීවිතයේ අවසන් සමය. දෙඇස් සුදෙන් වැසී ගිය දිව සහ මම ගැන පමණක් විශ්වාසය තබා ජීවත් වන සුනඛට මගේ රස්තියාදුකාර ජීවිතය ඉවසිය හැක්කේ දින තුනක්, උපරිම රාත්‍රින් දෙකක් පමණයි. ඉන් මත්තට බලාගත් වත බලා සිටීම පමණයි සුනඛ සිදු කරන එකම කාර්යය. පාර දිගේ අතරමඟකදී දවාලට බත් පැකට්ටුවක් රැගෙන එය අනා කොටසක් කා මුණ ගැසෙන සුනඛයකුට ලබා දෙන්නට පූර්ණ නිමිත්ත සුනඛ මැයි කියා මා සිතනවා. ප්‍රභාත් සහ සුනඛ අතර පමණක් නෙවෙයි: මාරාන්තිය සබඳතා ඇත්තේ. සුනඛයෙක් පිළිබඳව සම සිත් ඇති කොයි කාට වුව පෙරළා සුනඛයා ආදරය කරනවා යන්නයි නිවැරැදි.

ටෝකියෝ විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ හිඩෙස බුරෝ උතුනෝ කියනා මහාචාර්යවරයෙක් හිටියා. 1924 අවුරුද්දේ අවසාන කාර්තුවේදී එයා ගාවට ලස්සන හුරුබුහුටි සුනඛයෙක් පැමිණියා. එයාගේ උපන් දිනය ටක්කෙටම කිව්වොත් 1924-11-10දා. මහාචාර්යවරයා තනිකඩයා. එයා තමන්ගේ ඇසුරට පැමිණි සුනඛයාව භෞතිස්ම කළා හචිකෝ කියන නමින්. මහාචාර්යවරයා ටෝකියෝවේ පිහිටි කෘෂි පීඨයට යන්නේ ෆීගුයා දුම්රියපොළෙන්. මහාචාර්යවරයාව උදේ රැයෙන් ගිහින් දුම්රියපොළට ඇරලවන හචිකෝ ආයේ පාරක් මහාචාර්යතුමාව රැගෙන එන්නට දුම්රියපොළට එන්නයි පුරුදු වෙලා හිටියේ. 1925 මැයි 21 දා මහාචාර්යතුමා දේශනයක් පවත්වමින් සිටින අතරතුරදී මොළයට ලේ කාන්දු වීමකින් මිය යනවා. මහාචාර්යතුමා ශිගුයා දුම්රියපොළට ඉන් මත්තට කවමදාවත් පැමිණියේ නැහැ.

නමුත් හචිකෝ හැම හවස්වරුවකම දුම්රියපොළට පැමිණිලා තමන්ගේ හාම්පුතා, ආදරවන්තයා, හිතෛෂිවන්තයා වුණු මහාචාර්යතුමාව හෙව්වා. සොයා ගන්න බැරි වුණු තැන කෙඳිරි ගෑවා. උඩුබිරුවා. විලාප තිබ්බා. 1935 මාර්තු 8 වැනිදාක උහුල ගන්න බැරි දුකින් හචිකෝ මිය යනවා. මහාචාර්යතුමාගේ ගෝලයෙක් වුණු සයිටෝ එය අතරතුරේ හචිකෝව ලෝකයට රැගෙන යනවා. අවුරුදු ගණනාවක් තිස්සේ තමුන්ගේ හාම්පුතා සොයන්න ජීවිතය කැප කරපු හචිකෝ ජපානය තුළ වීරයෙක් බවට පත්වෙනවා. හචිකෝ අයිති වුණේ අකීටා කියන සුනඛ වර්ගයට. 1932 අවුරුද්දේ අසාගි කියන ලේඛකයා හචිකෝ ගැන ලියනවා. ගුරුවරු, මවුපියෝ, හචිකෝගේ ආදර්ශය තමන්ගේ දුවා දරුවන්ට කියා දෙන්න ගන්නවා. අවුරුදු 11ක් තිස්සේ එක අරමුණක් වෙනුවෙන් ජීවත් වුණු සුනඛයෙක්…. හචිකෝගේ රුව පිත්තලෙන් අඹලා ශිගුලා දුම්රිපොළ අසල තැන්පත් වෙනවා. ශිගුලා දුම්රිය පොළේ එක් මගී පර්යන්තයක් අදටත් හඳුන්වන්ගේ හචිකෝ ප්‍රවේශය නමින්. ඒ තමයි මහාචාර්ය හිඩෙස බුරෝ උතුනෝ සහ හචිකෝ අතර කතාන්තරදය.

හචිකෝ සිහියේ තබාගෙන මම ඔබව රැගෙන යන්න කැමැතියි කතරගමට. කඳ සුරිඳුගේ ඔද තෙද බල සපිරි කාචර ග්‍රාමයට. ගජ ශීර්ෂයක්,අලි බඩක් තියෙන ගණ දෙවියන් වැඩ සිටින ගණ දෙවි කෝවිල ගාව ගලාගෙන යන මැණික් ගඟේ ජලයේ රැඳිලා ඉන්න මාළුවන්ට මම පොරි ගොට්ටක් පිළිගන්වලා, මාළුවෝ පොරි ගොට්ටට කොච්චර කෑදරද කිව්වොත් ජලය සමඟ සම්බන්ධ නැති ජීවිතයක් ඒ අයට උදා වුණා කියලයි ඒ අය හිතාගෙන ඉන්නේ. සැබැවින්ම කතරගම තවදුරටත් පූජා භූමියක් යන පැනය පැන නඟින්නේ පෙර සඳහන් කළ ආකාරයට මෙම පූජා භූමිය තුළ හචිකෝලාගේ පරම්පරාවට සිදුවෙන අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් අති මහත් නිසාවෙන්. සැබැවින්ම ඒ පිළිබඳ ලද අත්දැකීම සවිස්තර කිරීමෙහිලා මම අසමත් බව දනිමි. මන්ද යත් එයින් මිනිසත්කමට කිසිසේත්ම පෑහෙන්නේ නැති යමක් ගම්‍ය වනවා යැයි මම විශ්වාස කරන නිසාවෙන්.

බොහොම හැඩට මැණික් ගඟ වක්ව ගලා යන තැන එකී අසුන්දර, තිරිසන් කතාන්දරය මගේ ගමන් සගයාගෙන් (ඔහු දෙවොලක ලෑන් මාස්ටර් දක්වන්නෙකි) අසා දැන ගැනීම වටී.

ප්‍රිය පාඨකය! මෙම කතා ප්‍රවෘත්තියේ සරණාවිට ඇති වන හිසරුදාව කෙතරම්දැයි මම දනිමි. එය කියා පෑමට ඇවැසි නොවේ. මේ එළුවන්ට වුව ධර්මය දේශනා කළ හැකි කාලයකි මේ. එය විවාදසම්පන්න නොවේ. සුනඛයන් පිළිබඳව තවත් අතීත මතකයට ඔබ රැගෙන ගොස් වර්තමානයේ ඔබගේ සිත් සතන් තව තවත් අප්‍රියජනක යමක් බවට පත් කිරීමටයි මට වුවමනා. ඊටත් පෙරාතුව සුනඛයන් පිළිබඳ තවත් කතාවක්! ඔබ අසා තිබෙනවාද ඇඟිලි උර උරා නිදිමත ළඟා කර ගන්නා සුනඛයෙක් පිළිබඳ. එය සැබැවි. විජයදාස රාජපක්ෂ මහතාගේ බිරියගේ ලොකු සහෝදරයා; හිතවත් රනේ අයියා සතුව එවැනි සුනඛයෙක් සිටී. ඒ සුනඛයාට නින්ද ළඟා කර ගැනීම සඳහා සුපිරිසුදු පයඟිල්ලක් ඇවැසිමය. ඇඟිල්ල නොඋරා ඔහු නොනිදියයි. හවස් යාමය එළැඹෙන විට රනේ අයියා කොයි ලෝකයක සිටියත් නිවෙසට පැමිණෙන්නේ සුනඛගේ පාඇඟිලි පිරිසුදු කොට ඔහු නිදි ලොව වෙත තල්ලු කිරීම සඳහාය. සැබැවින්ම මේ සුනඛ තෙමේ ප්‍රකට කරන්නේ සිවුපාවෙක් වුවත් තමන් තවදුරටත් ආදරය කරුණාව ඉන් මත්තට ස්නේහය අපේක්ෂාවෙන් ජීවිතය වත්තන් කර ගත්තෙක් ලෙස නොවේද? මෙම සියල්ල මනස නම් ඔලගුවේලා, අප ගමන් මඟ පෙන්වා දෙන්නාට සවන් දෙමු.

“ඉස්සරහට ඇසළ උත්සවය පැවැත්වීමට නියමිතයි. ඇසළ උත්සව කාලයට තමයි කතරගම පූජා භූමියට වැඩි මිනිසුන් ප්‍රමාණයක් පැමිණෙන්නේ. සාමාන්‍යයෙන් ඇසළ උත්සවයට පෙරාතුව වෙළෙන්දෝ මෙහි පැමිණීම සාමාන්‍ය විදියට සිදු වෙනවා. උත්සවයට මාසයකට විතර කලින් තමයි මේ අවට ගම්වල ඉන්න මිනිස්සුයි පිටින් එන මිනිස්සුයි මෙතැනට එන්නේ. ඒ එන අය හැම වෙලාවෙම උත්සාහ ගන්නේ අර කියමනට කියනවා වගේ බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න.

මම පොඩි පොඩි බේ‍රා්කර් වැඩ කරන කෙනෙක්. මේ කාලේ ජීවත් වෙන්න අමාරුයි. අතට එන හැම වැඩක්ම බේ‍රා්කර් වැඩක් විධියටයි මම ගන්නේ. මේ ළඟකදී මම කරපු ඒ වැඩකදී මිත්‍ර වුණු ගෑනු ළමයෙක් කතරගම ලේක්හවුස් කිව් එක ගාවදී (කොළඹ බලා දිවෙන බස් රථ නතර කරන ස්ථානය) මාව අඳුනගෙන මෙහෙම කතාවක් කිව්වා. එයාගේ කතාව මමම කියන්නම්. මේ ළමයා මහරගම පළාතේ කෙනෙක්. මුල්ම පත්වීම ලැබිලා තියෙන්නේ කතරගම රජයේ ආයතනයකට. මේ ළමයා බල්ලන්ට හරිම ආදරෙයි. දවල් කෑම පැයේ නගරයේ ඉන්න බලු රංචුව ඔය රජයේ දෙපාර්තමේන්තු ගොඩනැඟිලි පැත්තේ රවුමක් දානවමයි. එහෙම එන බල්ලෝ කීප දෙනකුට ඒ ළමයා කෑම දෙන්න පුරුදුවෙලා ඉඳලා තියෙනවා.

ඕක දැකලා ඒ ඔෆිස් එකේ වැඩකරන අනෙක් අය මේ ළමයට හිනා වෙන්න ගත්තලු ඇසළ මාසේ දඩමස්වලට විකුණන්න ඉන්න බල්ලන්ට කන්න දෙන එක තරම් මෝඩකමක් තවත් නැහැ කියලා. ළමයා මේ ගැන එයා දන්න කියන කතරගම පොලිසියේ උසස් නිලධාරියකුගෙනුත් විමසලා. ඒ උසස් නිලධාරියා ළමයාට කියලා ඒ වගේ සිදුවීමක් ගැන පැමිණිල්ලක් නම් ලැබිලා නැහැ කියලා. මම ළමයට ඇත්තම කිව්වා. එහෙම දෙයක් මෙහෙ වෙනවා. පොලිසියට පැමිණිලි නැහැ කියන්නේ එහෙම දෙයක් නොවෙනවා කියන එක නෙවෙයි. දඩ මස් කියලා බලු මස්වලට රැවටෙන මිනිස්සු කවමකවදාවත් පොලිසි යන්නේ නැහැ. අනෙක දඩමස් කියලා බලු මස් විකුණන මිනිස්සු තමන් අතට අදාළ මුදල ගෙව්වේ නැහැ කියලා පාරිභෝගිකයාට විරුද්ධව පොලිසි යන්නෙත් නැහැ. ඒ හින්දා පොලිසියට පැමිණිලි ලැබෙන්නෙත් නැහැ.

ඒක ඇහුවට පස්සේ අර දරුවා හරියට කලකිරුණා. ඇත්තනේ. තමන් නොකා බත් එකෙන් කොටසක් දීලා හදල සත්තුන්ව මස් කරලා විකුණන්න බලා ගෙන ඉන්න මිනිස්සු ටිකක් තමන් අවට ඉන්නවා කියන එක කලකිරෙන්න හේතුවක්ම තමයි. මම ඒ දරුවාට කිව්වා කිරිවෙහෙර රජමහ විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කොබවක ධම්මින්ද හාමුදුරුවොත් මේ බලු දඩමස් ව්‍යාපාරයට විරුද්ධව හඬක් නඟපු කෙනෙක් කියලා. උන්වහන්සේගේ වචනයෙන්ම කිව්වොත් මේ බලු දඩමස් කෙළිය දඩමස් උන්මාදයම නිසා ඇති වුණ දෙයක්. මේ වැඩේ නීති විරෝධියි. වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ මේ විධියට සතුන් මැරීම, ඒ සඳහා සැලසුම් කිරීම, ඒ විතරක් නෙවෙයි කොටස් ළඟ තබා ගැනීම වුණත් දඬුවම් ලැබීමට සුදුසුකමක්.

මම කියන්නම් මේ වැඩේ ඉතිහාසයයි වර්තමානයයි ගැන. මුලින්ම මේ බල්ලෝ දඩමස්වලට විකුණන එක සිදු කරලා තියෙන්නේ කතරගම ටවුමේ ආප්ප උයන ගෑනු කෙනෙක්. ඒක බොහොම ප්‍රසිද්ධ රහසක්. සාමාන්‍යයෙන් ටවුන් එකට පලතුරු ගේන ලොරි දහයක් පහළොවක් නොවරදවාම කතරගමට එනවා. ඒ එන අය ලොරිවල බල්ලෝ දාගෙනයි එන්නේ. නිකම් විහිළුවට වගේ ඒ අය බල්ලන්ව ගෙනැල්ලා කතරගම පූජා නගරයේ අතහැරලා දානවා. බලු දඩමස් ව්‍යාපාරයට සයිඩ් සපෝට් එකක් තමයි ඒ අය දෙන්නේ. ඇසළ මාසෙට කතරගමට, එතැනින් එහා පැත්තේ යාලට එන කොළඹ ඉන්න ලොකු ලොක්කෝ මේ ආපු ගමන් හොයන්නේ දඩ මස්. ඒ අඩුව පුරවන්න තමයි බලු මස් කරළියට එන්නේ. සාමාන්‍යයෙන් ටවුන් එකේ දඩමස් කිලෝ එකක් රුපියල් 800-1500 අතර තමයි විකිණෙන්නේ.

ඒ ගාණට සල්ලි ගෙවලා ගොඩක් අය ගන්නේ බලු මස් කියන විත්තිය ඒ අය දන්නේ නැහැ. බිස්නස් එක සිද්ධ වෙන්නේ බොහොම සූක්ෂ්ම විදියට. පෙළක් ත්‍රීවීල් රියැදුරෝ දඩමස් ගේන්න හම්බේ පැත්තට යන්න ඕන කියලා ලොකු ගාණක් අය කරන අවස්ථාවත් තියෙනවා. හොඳ සල්ලිකාරයෙක් දැක්කොත් දඩමස් තියෙන ගෙදරටම ගිහිල්ලා ෆ්‍රිජ් එක ඇරලා දඩමස් විකුණන උදවියත් ඉන්නවා. එතකොට කරන්නේ බලුමස්වලට තවත් මොනව හරි මස් වර්ගයක් කලවම් කරලා විකුණන එක. ඔය විදියට සෙල්ලම සිද්ධ වෙන්නේ. පසුගිය ඇසළ උත්සවයෙන් පස්සේ සෙල්ල කතරගම වතුරවාරාම විහාරස්ථානය පිටුපස තිබිලා ගෝනියක දාලා තිබ්බ බල්ලන්ගෛ් ඔළු විශාල සංඛ්‍යාවක් සොයා ගත්තා. ඔය ආසන්නයේ කැලේ තමයි බල්ලෝ මරලා මස් කරලා දඩමස් විධියට විකුණලා තියෙන්නේ.

ගන්දස්සාරේ ඉවසන්න බැරි තැන අවට මිනිස්සු හිතලා තියෙන්නේ මිනියක් මරලා දාලා කුණු ගඳ ගහනවා කියලා. ඊට පස්සෙයි ඔය විධියට බලු ඔළු ටික හොයා ගත්තේ. සාමාන්‍යයෙන් කතරගමට නිතරම යන එන කෙනෙක්ට දැක ගන්න පුළුවන් ඇසළ මාසයට ඉස්සර නගරයේ ඉන්න බල්ලෝ ඇසළ මාසෙට පස්සේ නගරයේ අඩුයි කියන එක. ඒ බව ඇසළ පෙරහර සංවිධාන කමිටුවේ සභාපති කලා භූෂණ සුමන සෝමපාල මහත්තයත් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ බලු මස් දඩමස් විදියට විකුණන එක අතරතුර ඇත්තම දඩමස් විකුණන අයත් ටවුන් එකේ ඉන්නවා. ගන්නෝරුව එක කොටසේ ඉඳලා හතර කොටස දක්වා වන සතුන් උගුල් අටවලා දඩයම් කරන අය තමයි ඒ විධියට ඒ රස්සාව කරන්නේ. ඒ හින්දා දඩමසුයි බලු මසුයි අඳුනා ගන්න බැරි තත්ත්වයක් දැන් උදාවෙලා. මේක වසංගතයක් වගෙයි.

සාමාන්‍යයෙන් අවුරුදු 6-7 බල්ලෙක් මරා ගත්තාම මස් කිලෝ 10ක් විතර ගන්න පුළුවන් කියලයි වැඩේ කරන අය කියන්නේ. ඒ කියන්නේ බල්ලෙක් රුපියල් 8000ක් වත් වෙලා. බල්ලෝ තුන්දෙනෙක් දවසට මරලා විකුණා ගත්තොත් මාසයක් මහන්සි වෙලා ගන්න සල්ලි අතේ. මේ අහිංසක සත්තුන්ගේ ජීවිතත් බේරා ගෙන තමුනුත් බලු මස් නොකා ඉන්න කරන්න තියෙන්නේ එකම දෙයයි. ඒ කතරගම ඇවිදින් දෙයිහාමුදුරුවෝ වැඳලා දඩමස් හොයන්නේ නැතිව ඉන්න එක. ඒක තමයි මේකට තියෙන එකම උත්තරය.

වන සතුන් කෙරේ මිනිසුන් සිදු කරන තිරස්චීන කාර්යයන් සඳහා මමද නං අයුරින් සම්බන්ධ වී තිබේ. සහායද පළ කර තිබේ. නමුත් සුනඛයන් කෙරේ සිදු වූ මෙවන් විකල් අත්දැකීම් මඟින් සිත මෙන්ම ගතද බිරන්තට්ටු වී ඇති බව නම් කිව යුතුමය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
සරසවියේ ජීවත්වෙන අද්භූත ජීවත
හොල්මන් කියා යමක් ඇතිද නැතිද යන්න වෙනම ප්‍රශ්නයකි. පෞද්ගලිකව මා ඊට යම් සෘජු පිළිතුරක් දීමට ...