free page hit counter

සරසවියේ ජීවත්වෙන අද්භූත ජීවත

Gossip 1080

හොල්මන් කියා යමක් ඇතිද නැතිද යන්න වෙනම ප්‍රශ්නයකි. පෞද්ගලිකව මා ඊට යම් සෘජු පිළිතුරක් දීමට තරම් දැනුමක් හෝ හැකියාවක් නැත්තේ ඒ පිළිබඳව මෙතෙක් නිශ්චිත අත්දැකීමක් මා සතු නොවන නිසාය. එහෙත් මීට යම් පුද්ගලයකුගෙන් විමසූ විට ඔහුගෙන් හෝ ඇයගෙන් ලැබෙන පිළිතුර එකිනෙකට වෙනස් විය හැකිය. මන්දයත් ඊට ඒබ්‍රහම් ටී. කොවුර් දෙන පිළිතුරට වෙනස් පිළිතුරක් ඒබරං කපු මහතාගෙන් ලැබිය හැකි බැවිනි.

කෙසේ වෙතත් හොල්මන් ඇසුරෙන් හොඳ සාහිත්‍යක් ගොඩනැඟී ඇති විටෙක භීතිය හා තවත් විටෙක හාස්‍ය මුල් කරගත් මේ හොල්මන් සාහිත්‍ය අතරට හිරු නොබසින අධිරාජ්‍යයේ මහා ලොක්කි වැඩ සිටින බකිංහැම් මැඳුරේ සිට ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල තුංමං හන්දි හා සොහොන් පිටි දක්වා වූ පරාසයක් අත්පත් කොටගෙන සිටී.

හොල්මන් ඇති – නැති බව පිළිබඳව සංවාදයකට පෙර කීවාක් මෙන් මා කිසිසේත්ම සූදානම් නැතුවා මෙන්ම ඊට අදාළව හොල්මන් මිථ්‍යාවක් ලෙස දකින බහුතරයකගේ මතය මේ හොල්මන් මැවෙන්නේ අඩු අධ්‍යාපනය. අඩු චින්තන ශක්තිය හා පසුගාමී මානසිකත්වයන් තුළින් ලැබෙන ග්‍රාම්‍ය අතුරුඵලයක් ලෙස බවය. කෙසේ වෙතත් එම චින්තන ධාරාවන්ට අනුවම ශිෂ්ටත්වයේ ලොකු පප්පලා වැඩසිටින එංගලන්තයේ ලොකු ලොකු මන්දිර හා මාලිගා රැසක් හොල්මන් අරක්ගත් ඒවා වීම දෛවයේ හාස්‍යයකි.

මේ කතාව එංගලන්තයේ මන්දිර හෝ ලංකාවේ මන්දිර ගැන හෝ ඒවායේ හොල්මන් ගැන නොව මේ සිරි ලංකාවේම හොල්මන් සිටින බව කියැවෙන වෙනත් තැන් විශේෂයක් ගැනය. එනම් මෙරට සරසවි පද්ධතියයි.

“අපි හොස්ටල් එකේ ඉන්නකොට එක පාරටම කරන්ට් එක ගියා. එතකොට වෙලාව රෑ අටට විතර ඇති. මට එක පාරටම දැනුණ කවුරුහරි මගෙ බෙල්ල අල්ලගෙන ඉන්නව වගේ. මම මුලින් හිතුවෙ යාළුවෙක් විහිළුවට වගේ කරන දෙයක් කියල. මම කිව්ව අතෑරපං බං මගෙ බෙල්ල කියල. එතකොට ටික ටික බෙල්ල තව හයියෙන් හිර වෙනව මට දැනෙන්න ගත්තා. මම හිටගෙන හිටියෙ. මට කෑගහන්නවත් හයියක් තිබුණෙ නෑ. එක පාරටම කරන්ට් එක ආවා එතකොටම මං දැක්ක සුදු පාට ගෑනු කෙනෙක් වගේ රූපයක් මගෙ ගාව ඉඳල අෑතට පාවෙලා යනව. මට ගොඩක් බය හිතුණා.”

මේ කතාව දිගහරින ඇය සරසවි ශිෂ්‍යාවක්. එහෙත් ඇයට මෙය සිදුවන්නේ වසර දහයකටත් පෙරය. ලංකාවේ සරසවි පද්ධතිය තුළ හොල්මන්වලට වාසස්ථාන වී ඇති බව කියන සරසවි කිහිපයකි. අප මිතුරිය මේ කතාව දිග හරින්නේ උතුරු මැද පළාත මුල් කොටගත් සරසවියක් පසුබිම් කොට ගනිමිනි.

කොළඹ, කැලණිය හා ජයවර්ධනපුරය වැනි විශ්වවිද්‍යාල කිහිපයකටම හොල්මන් ආශි්‍රත සාහිත්‍යයක් ගොඩනැඟී ඇත. සැබෑ ඒ සිදුවීම් මත හෝ වේවා නැතහොත් ඇස් රතුවන විහිළු කිරීමෙහි සමතුන් විසින් මවන ලද මේ භූත බලවේගයන් පිළිබඳ කතා පුවත්වලට ප්‍රධාන වශයෙන් පාදක වී ඇත්තේ මහ පොළොව ගිනිගත් එක්තරා යුගයක සමාජය වඩාත් යහපත් තැනක් කිරීමට නැඟී සිටි තරුණයන් පිරිසක් හා ඔවුන් මර්දනයට දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙනි.

කොටින්ම මේ විශ්වවිද්‍යාලවල පැරැණි නේවාසිකාගාර බොහොමයක් එක්තරා කාලයක රැඳවුම් කඳවුරු හෙවත් වධකාගාර බවට පත්ව තිබිණි. අදටත් මේ සරසවිවල සිසු සිසුවියන් අතර ගෙතී ඇත්තේ මේ රැඳවුම් කඳවුරු හෝ වධකාගාරවල මියගියවුන්ගේ ආත්මයන් එම භූමිය අත්හැර නොයා තමන් හමුවට පැමිණීම පිළිබඳ කතා පුවත්ය.

එම විශ්වවිද්‍යාලවල හොල්මන් හා අවතාර පිළිබඳව යම් තරමකින් හෝ සමාජයට නිරාවරණය වී ඇතත් තවමත් මේ උතුරු මැද හොල්මන් පිළිබඳව සමාජයට මෙතෙක් හෙළිදරව් වී නැත. මේ සරසවිය ගොඩනැඟෙන්නේ පෙර කී පරිදි භීෂණකාරී වතාවරණයක් තුළ රැඳවුම් කඳවුරක් ලෙස පැවතීමට තරම් දීර්ඝ ඉතිහාසයක් ඇතිව නොවේ. ඊට වඩා වයසින් ළාබාල එයට ඇත්තේ වෙනස් ඉතිහාසයකි. මේ කතාව දිගහරින ගම්වැසියකුගේ මුවින් එය පිටවන්නේ මෙලෙසිනි.

“ඉස්සර මේ පැත්ත එක්ක තමයි මේ ගං දියුණු වුණා ඉතිං ඔය එක්ක කොළඹ හිටපු රටේ නමගිය කෙළිකාරයො මේ පැත්තට ආවා….”

ඔහු මුවින් එක්තරා නමගිය සංවර්ධන ව්‍යාපෘතියක හා ඊටත් එහා නමගිය රටේ පතළ මැරවරයන් කිහිපපොළකගේ නම් කියවේ. ඒ චරිත සමඟ ගෙතී ඇති කතා පුවත්වල ප්‍රතිඵලයක් ලෙස මේ හොල්මන් කතාන්දරද නිර්මාණය වී ඇත. මේ කතන්දරවල එන බොහොමයක් හොල්මන් කාන්තා චරිත වීම තුළ එකල තරුණියන් මුහුණ දුන් ඛේදවාචකයන් ගැබ්ව තිබේ.

මේ සරසවිය තුළ පැවති එක් ආපන ශාලාවක් සිසුන්ගේ උප සංස්කෘතිය තුළ හැඳින්වූයේ කැලේ කඩේ නමිනි. අද වනවිට මේ ආපන ශාලාව දැකිය නොහැක්කේ පසුව ඉදිකරන ලද සිසු නේවාසිකාගාරයක් නිසා මේ ආපන ශාලාව ඉවත් කිරීම නිසාය. මේ භූමියට මඳක් ඔබ්බෙන් වූ පාළු මූසල ස්වභාවයක් උසුලන එක් කජු ගසක කාන්තා රූපයක ඡායාවක් රාත්‍රි කාලයේ දුටු බව කියන සිසුවියන් පිළිබඳව සරසවි ජනප්‍රවාද තුළ කියවිණි. මේ රූපයකට පාදක වූ බව කියැවෙන කතාන්දරයක්ද සිසු සිසුවියන් අතර පැවැති අතර ඉන් කියැවුණේ පෙර කී යුගයේ කොළඹින් පැමිණි රට පතළ මැරවරයන්ට කටගැස්මක්ව අවසන් ගමන් ගිය තරුණියක පිළිබඳවය.

මේ තරුණිය පිළිබඳ කතා පුවතේ කියවෙන්නේ ඉතා අමානුෂික ලෙස දූෂණයට ලක්වීමෙන් පසු කේබල් කම්බියකින් ගෙල සිරකර පෙර කී කජු ගසෙහි එල්ලා මරා දමන ලද තරුණියකගේ ඛේදවාචකයකි. මෙම සිද්ධිය පිළිබඳ ඇත්ත නැත්ත කීමට මා නොදන්නා මුත් එම සිද්ධියට සම්බන්ධ ඔය කියවෙන දූෂකයන්ගේ නම්වැල මේ වනවිට මරු තුරුළට ගොස් හමාරය. වරින්වර සිදුවූ අනපේක්ෂිත සිදුවීම් හා ඝාතනයන්ට ලක්වීමෙන් මියගිය එම පුද්ගලයන් පිළිබඳ කියැවෙන කුප්‍රකට සිදුවීම් බොහෝය.

ඉතා විශාල භූමි ප්‍රදේශයක පැතිරී ඇති මෙම සරසවිය තුළ අද වනවිට ගොඩනැඟිලි ඉදිවෙමින් පැවතියත් මීට ටික කලකට පෙර පැවැතියේ දේශනශාලා පැවති කොටස පසුකළ විටම හමුවන ලඳු කැලෑ හා වනයෙන් වැසී ගිය භූමි භාගයකි. මේ කොටසේ පැවැති කළු ගල්වලින් පිරුණු ගල්තලාව හැඳින්වෙන්නේ මොනරාගල නමිනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මොනරුන් ගැවසෙන මේ ප්‍රදේශය තුළ ඇති ගුප්ත අබිරහස් බව සමඟම කතා පුවත් රාශියක් ගෙතී ඇත.

මෙම ගල් තලාව ඉදිරිපස පිහිටා ඇත්තේ සරසවියේ වෛද්‍ය මධ්‍යස්ථානයයි. රාත්‍රි කාලයේ වසා දමන එම ස්ථානය එනිසාම ආරක්ෂක ස්ථානයක් ලෙස ආරක්ෂක නිලධාරියකු යෙදීමට නියමිතය. නමුත් මේ ස්ථානය ආරක්ෂක නිලධාරීන් රාජකාරියේ යෙදීමට කැමැති ප්‍රියමනාප ස්ථානයක් නොවේ. එම නිසාම ඔවුන් ඉන් මඟහැරීමට උත්සාහ දරන අතර නවක ආරක්ෂකයකුට බොහෝවිට තම මංගල රාත්‍රිය ගෙවා දැමීමට මෙම ස්ථානය හිමිවීම සාමාන්‍යයකි.

මෙම ස්ථානයේ රාජකාරියේ යෙදුණු කිහිපදෙනකුටම නින්දත් නොනින්දත් අතර සිටින විට දර්ශනය වී ඇත්තේ හිස කෙස් කඩාගෙන සුදුවතින් සැරසී මෙම ගල් තලාවෙන් පහළට බසින කාන්තා රූපයකි. මුහුණ එතරම් පැහැදිලි නොමැති මේ රූපය දැකීමෙන් බියට පත්වූ ඇතැමකුගේ ක්ෂණික නැවතුම්පොළ වී ඇත්තේ ආරක්ෂක නිලධාරි ප්‍රධාන කාර්යාලයයි.

මෙම භූමිය පුරා විවිධ තැන් අරභයා විවිධ කතා ගොඩනැඟී ඇත්තේ විවිධ අවස්ථාවල සිදුවූ නිදන් ගොඩගැසීමේ සිද්ධි සම්බන්ධ කරගනිමිනි. ඒ කතාවල ඇත්ත නැත්ත කීමට නොදන්නා මුත් ඒ කතන්දර ගොඩනැඟී ඇත්තේ සරසවියක් වීමට පෙර නිදන් හොරුන්ගේ කෙළිබිමක් වීම පිළිබඳවය. කුඩා ප්‍රමාණයේ රත්රන් ඇඳක් ගොඩගැනීමේ කතාපුවත මින් ප්‍රධාන වන අතර ඊට සම්බන්ධ බොහොමයක් දෙනා මියගිය බව ප්‍රදේශවාසී වැඩිහිටියන්ගේ මුවින් පිටවන්නේ පෙර කී ආකාරයටම නම් ගම් හා වාසගම් සහිතවය.

මේ අතර මෙබඳුම තවත් කතා රැසක් ගෙතී ඇත්තේ පිට හොස්ටල් පිළිබඳවය. සරසවි අභ්‍යන්තර නේවාසිකාගාර ප්‍රමාණවත් නොවන විට කුලියට ගන්නේ මෙබඳු නිවෙස් වන අතර ඒවා ඇසුරින්ද අද්භූත කතා රැසක් ගොඩනැඟී ඇත. වෙලාව රාත්‍රි ‍ෙදාළහට පමණ ඇත. මේ සරසවියේ විභාගයක් අවසාන වී දින කිහිපයක් ගතවී ඇති නිසා සිසුන් බොහොමයක් නිවෙස්වලට ගොස් ඇත. කතාව ඇරඹෙන්නේ මේ පරිසරය තුළය.

මම හොස්ටල් එකට ගිහිං කාමරේ ඇතුළටම ගියා. මම විතරයි එදා කාමරේ වෙන කවුරුවත් නෑ. සේරම අය ගෙවල්වලට ගිහිං. එළියේ සාලෙ ලයිට් දාල තිබුණෙ. මම කාමරේ ලයිට් නිවලා නිදාගෙන ටිකක් වෙලා යද්දී මට පේනව අත්දෙක දෙපැත්තට විහිදිච්ච රූපයක් කළු පාටට මගෙ ඇඳේ මදුරු දැලට උඩින් පාත්වෙනවා. මට හොඳටම පේනව මේ රූපෙ ටිකෙන් ටික මගෙ දිහාටමයි එන්නෙ.

ඒත් මම මගෙ ඇහැ අෑතට ගත්තෙ නෑ. මට පුදුම විදිහෙ බයක් දැනුණා. මම ඒ හින්දමයි ඇහැ අහකට ගත්තෙ නැත්තෙ. මට එවෙලෙ හිතුණා මං අහක බැලුවොත් ඒ රූපෙ ඇවිත් මගෙ බෙල්ල මිරිකල දායි කියල. මං ඉක්මනටම එහෙ මෙහ හිතේ හෝදිසියට අත ගාලා මගෙ ෆෝන් එක අරගෙන ඒකෙ ලයිට් එක ගැහුව. ඒ එක්කම ඒ රූපෙ නැතිවෙලා ගියා. මේ සේරටම බොහොම පොඩි වෙලාවයි ගියේ. ඊට පස්සෙත් මට නින්ද ගියේ නෑ. මං ෆෝන් එකෙන්ම රේඩියෝ එක දාල එවෙලෙ මොකක්ද චැනල් එකක පිරිත් ගියා. ඒක හයියෙන් දැම්මා. ඒත් මට එළිවෙනකල්ම නින්ද ගියේ නෑ.

මේ කතාව කියන්නේ මගේ හිතවත් සරසවි මිතුරෙකි. මේ ඔහු මුහුණ දුන් සත්‍ය අත්දැකීමයි. පසු දින උදෑසනම ඔහු අසල කඩයකට ගොස් මේ පිළිබඳව විපරම් කරන විට දැනගැනීමට ලැබෙන්නේ අපූරු කතාවකි.

“පුතේ ඔය ගෙදර තමයි ඉස්සර අයිතිකාරයො පදිංචි වෙලා හිටියෙ. එයාලගෙ අවුරුදු පහක විතර පොඩි ළමයෙක් හිටිය. ඒ ළමයට නිතර මීමැස්මොරය හැදුණා. එහෙම වෙලාම දවසක් ළිඳට වැටිල ඔය ළමයා මරුණට පස්සෙ ගෙදර කාටවත් ඉන්න බැරිවුණා. ඒ බැරිම තැන එයාල වෙන ගෙදරක් හදාගෙන පදිංචියට ගියා. සැරෙන් සැරේ කුලියට ආපු අයටත් ගෙදර එක එක ප්‍රශ්න ඇති වුණා.”

මේ එම කඩය පවත්වාගෙන යන මැදිවියේ කාන්තාවගෙන් ලද විස්තරයයි. ඒ අනුව මේ මියගිය දරුවා ජීවත්ව සිට ඇත්තේ පෙර කී කාමරය තුළය. ඔහු සමහරවිට මියගිය පසුවත් එම කාමරය අතහැර යෑමට සූදානම් නැතිවා විය හැකිය.

මේ කතා සියල්ල කෙනකුට මනෝභ්‍රාන්තීන් හෝ විකාර පමණක් ලෙස සලකා බැහැර කළහැකිය. තවකෙකුට එය එසේ නොවිය හැකිය. ජීවත් වන්නවුන් අතරම සිටින අද්භූත මේ ජීවිත කෙනකුට අනුව හොල්මන් ලෙස සලකා සෙලවෙන මනසේ ඇතිවන රූ ලෙස පමණක් විග්‍රහ කොට ඉවත හෙළිය හැකි අතර තවත් අයකුට මෙම ජීවිතම තවමත් අප හැර ගොස් නැති අප සමගම මේ මොහොතේත් රැඳී සිටින එමෙන්ම කියාගත නොහැකිව තෙරපෙන යම් පණිවුඩයක් සිර කර ගත් ආත්මයන්ගේ ශෝකාලාපයක් ලෙසද සැලකිය හැකිය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පාදෙණියට එරෙහි පැමිණිල්ල ජුනි 04 යළි කැඳවයි
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට ...